Work‎ > ‎

Madhura Javanika / මධුර ජවනිකා

මධුර ජවනිකා පෙරවදනින්...

මධුර ජවනිකා නාටකය රචනා කිරීම මා ආරම්භ කළේ 1979 වර්ෂයේ සිට පමණ යැයි කිව හැක. මේ කාලයේ මා රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, විශේෂයෙන් සිංහල විනෝද වැඩ සටහන් සැලසුම් කිරීමේදී මා ලද අත්දැකීම් ‘මධුර ජවනිකා’ නිර්මාණයට බලපා ඇත.

සංගීත සංදර්ශන ස්වරූපයෙන් මේ රටේ බහුල ව පැතිරෙන්නට පටන් ගත් “සරල විනෝදාස්වාදය” වත්මන් ආර්ථික රටාව හා බැඳුනු බටහිර තාක්ෂණික ප්‍රවාහයේ අංගයක් වෙමින්, නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කලාකරුවන්ට තර්ජනයක් වන ලෙසක් ද පෙනේ. රට ජාතිය ආගම පිළිබඳ හැඟීම් ජනතාව තුළින්, විෂේශයෙන් තරුණ පරම්පරාවෙන් ඉවත්ව යන බවට ද බොහෝ දෙනා මෙකල අදහස් පළ කරන්නට වී ඇත. නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කටයුතු කිරීම ද අතිශය වියදම්කාරී වී ඇති අතර, ඉන් ලැබෙන ප්‍රථිලාභයන් ද ඉතා අල්ප වන්නට වී ඇත. සරල විනෝදාස්වාදය මුදල් ආයෝජනය අතින් ඉතා වා‍සිදායක වී ඇත්තේ අලුත් ධනවතුන් ගේ සංස්කෘතික විලාසිතාව එය වීමට පටන් ගැනීම නිසාය. සෙනග අද්දවා ගැනීමේ ශක්තිය මත වාණිජ හා දේශපාලන අනුග්‍රහය ද සරල විනෝදාස්වාදයටම නැඹුරුවීම පුදුමයට කරුණක් ද නොවේ. “මධුර ජවනිකා” වේ තේමාවද එය වේ. මෙම තර්ජනය අදට සීමාවුණු ප්‍රශ්ණයක් ද නොවේ. එමෙන්ම විදේශීය බලපෑම්වල තර්ජනය ද කවදත් කොයි දිනත් පවතී. ඒ සනාතනික ගැටුම තුලින් අ‍පේ සංස්කෘතිය වර්ධනය වේ. 

මේ තේමාව වත්මන් ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යෑම සඳහා ඔවුන් අතර ප්‍රචලිත වී ඇති සංගීත සංදර්‍ශන මාධ්‍යම මම තෝරා ගතිමි. මධුර ජවනිකා සංදර්‍ශනය මෙහෙයවන්නා වශයෙන් ඓහි කථක ‍වෙයි. ඔහු පිටරටින් එන අය සෝදිසි කරන්නෙකි. නාට්‍යයේ ඒ එන අය ගැයුම්, වැයුම්, නැටුම් ඉදිරපත් කරන්නෝ වෙති. නමුත් ඔවුන් ගයන්නේ, වයන්නේ, නටන්නේ අපේ ජන ශ්‍රැතියෙන් ගත් ගායන, වාදන හා නැටුම් ය. කියන්නේ අපේ සංස්කෘතිය ගැනය. එමෙන්ම ඔවුහු වර්‍තමානයේ ප්‍රශ්න සමගද සම්භන්ද වෙති.

මධුර ජවනිකා මට්ටම් කීපයකින් යුත් රැඟුමක් වශයෙන් අදහස් කොට ලීවෙමි. එය මෙරට ඉතිහාසය දෙස හෙලන විමසුම් බැල්මකි. එමෙන්ම මෙරට ආගමික සිතුම් පැතුම් වල, විශේෂයෙන් බෞද්ධාගම පිළිබඳව සිදුවූ වෙනස්කම් ද එහි නිරෑපණය කෙරේ. මෙ රටට පැමිණි විදේශීකයන් හා ඔවුන්ගේ බලපෑම්, සංගීත ‍ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය ආදිය ‘මධුර ජවනිකා’ මගින් විදහා දැක්වීම මගේ අරමුණ විය. මේ සියල්ලක් කෙරෙහි ම මා බොහෝදුරට බැලුවේ ජන ශ්‍රැතිය මුල් කරගෙනය.

දයානන්ද ගුණවර්ධන
1984-11-06

Madhura Javanika



Comments